ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී
උසුකාරො’ව
තෙජනං.
වාරිජො’ව ථලෙ ඛිත්තො
ඔකමොකත උබ්භතො
පරිඵන්දතිදං චිත්තං
මාරධෙය්යං පහාතවෙ.
ශුද්ධාවන්ත පින්වතුනි,
අද මේ පෝය දවස අධි වෙසක් පෝය හැටියටයි සම්මත වෙලා කියන්නේ. මේ වෙසක් කියන වචනයම වුනත් ප්‍රමාණවත් ශුද්ධාවන්ත බෞද්ධයින් තුළ බුදු පියාණන් වහන්සේ පිළිබදව, උන් වහන්සේගේ චරිතය පිළිබදව, උන් වහන්සේගේ ගුණ සම්භාරය පිළිබදව, ගැඹුරු භක්තියක් ශ්‍රද්ධාවක් ඇති කර ගන්න. අපි කවුරුත් දන්නවා, අපි බුදු කෙනෙක් කියලා හඳුන්වන්නේ - මේ සංසාරයේ සත්ත්වයා අති දීර්ඝ කාලයක් මේ සංසාර දුකේ, පීඩනයේ, ගින්නේ, දැවෙමින් ඉදලා ජීවිතයට සිත යොමු කරපු අවස්ථාවක ඒ නිවනට මාර්ගය පහදා දෙන කළ්‍යාණ මිත්‍රයෙක් හැටියටයි, අපි බුදු කෙනෙක් හඳුන්වන්නේ. බුදුපියාණන් වහන්සේම තමන් වහන්සේ ලෝකයාට කළ්‍යාණ මිත්‍රයෙක් හැටියට හඳුන්වා වදාළා.
බුදු කෙනෙකුගේ පහළ වීමෙන් අපට මේ නිවන් මග හෙළි කරන උපදෙස් ලබා ගන්ට පුළුවන් අවස්ථාවක් සැළසෙනවා. එතකොට මේ සංසාරය කියලා කියන්නේ එක්තරා විදියක වට වළල්ලක යාම වගේ ගමනක්. මේ වට වළල්ලේ යාමේ ජවයට පුරුදු වුන හිත එයින් පිටට පන්න වන්න - ඒ කියන්නේ නිස්සරණය කියලා කියන, නිබ්බානය කියලා කියන, ඒ උතුම් තත්ත්වයට, ඒ විමුක්තියට, යොමු කරන්න - හදන කොට සිත ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ. මොකද, සාංසාරික පුරුදු නිසා, මේක පහසු වැඩක් නෙවෙයි. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන කොට මේක මාරයාගේ රාජධානියෙන් පිට පැනීමට, එයින් බේරීයාමට, දරණ තැනක් වගේ. අති දීර්ඝ කාලයක් මාරයාගේ රාජධානියෙ යටත් වැසියන් හැටියට ඉදලා මාරයාගේ රාජධානියෙන් බේරී යාමට දරණ උත්සාහය වගේ. මේක ඉතාමත්ම ප්‍රබල උත්සාහයකින් ප්‍රයත්නයකින් කළ යුතු දෙයක්. මේක ලේසි පහසු වැඩක් හැටියට හිතාගෙන මේ වැඩේට බැස්සොත් බොහොම ඉක්මනින්ම පසු බසින්න සිද්ධ වෙනවා. ඒක නිසා නිවන් දකින්න බලාපොරොත්තු වන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සුදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිබෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධර්ම, ඉදිරිපත් විය හැකි මාර බාධක, ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා, මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේයි. අපිට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබදව අවස්ථානුකූලව උපදෙස් දෙන්ට පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයා, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, තමයි බුදු පියාණන් වහන්සේ. දැන් අපි මේ මාතෘකා කළ ගාථා දෙකෙන් පෙන්නුම් කෙරෙන්නෙත් සාංසාරික සත්ත්වයෙකුගේ සිතේ සාමාන්‍යයෙන් බල පවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබදව යම්කිසි අවබෝධයක් මේ ගාථා වලින් දෙනවා වගේම ඒවා ජය ගන්න පුළුවන් ආකාරයත්, ඒකට උපකාර වෙන යම්කිසි උපදේශයකුත්, මේ ගාථා දෙකේ අඩංගු වෙනවා. මේ ගාථා දේශනා කරන්න හේතු වූ නිදාන කථාව මෙහෙමයි.
බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක චාලික කියන පර්වතයේ වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ උන් වහන්සේට උපස්ථායකයා හැටියට හිටියේ “මේඝිය” කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ මේඝිය ස්වාමීන් වහන්සේ එක දවසක්ද බුදු පියාණන් වහන්සේ ළහට ඇවිල්ලා අවසර ඉල්ලනවා ඒ අසල තියෙන ඡන්තු කියන ගමට පිණ්ඩපාතයේ වඩින්ට. බුදු පියාණන් වහන්සේ ඒකට අවසරදී වදාළා. එතකොට මේ මේඝිය ස්වාමීන් වහන්සේත් පාත්‍රා, සිවුරු අරගෙන ඒ ගමට පිණ්ඩපාතයේ වැඩලා පිණ්ඩපාතෙන් පස්සේ කිමිකාලා කියන ගඟ අසල, ඒ ගං තීරයේ, එහාට මෙහාට සක්මන් කර කර හිටියා. ඒ අතරේදී දැක්කා ඒ කිට්ටුව තියෙන ඉතාමත්ම රමණීය අඹ වනයක්. දැකලා කල්පනා කළා “හා! මේ අඹ වනය ඇති නිවන් සඳහා උත්සාහ කරන්න සුදානම් වෙන කුල පුත්‍රයෙකුට. හොඳම ස්ථානයයි මෙතන. මම එන්ට ඕන භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මෙතන භාවනා කරන්න” කියලා.
ඊළහට සවස් වරුවේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කරලා බුදු පියාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, මම මෙහෙම අද පිණ්ඩපාතේ ඡන්තු ගමට ගියහම මෙන්න මේ විදියේ තැනක් දැක්කා මට හිතුනා මේකම ඇති යම්කිසි කුලපුත්‍රයෙකුට නිවන් සඳහා වීර්යය වඩන්ට. මේක හොඳ ස්ථානයක්, රමණීය ස්ථානයක් කියලා. භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම කැමතියි ඒ ස්ථානයට භාවනා කරන්න යන්න”. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මේඝිය, මම දැන් මේ අවස්ථාවේ තනියමයි සිටින්නේ. තවත් භික්ෂුවක් මෙතනට එනකම් ටිකක් ඉවසන්න” නමුත් ඒකට කීකරු වූයේ නැහැ, මේඝිය ස්වාමීන් වහන්සේ. නැවත වරක් භාග්‍යවතුන් වහන්සේට කියනවා “දැන් භාග්‍යවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කරලා ඔක්කොම අවසානයි. ඒ වගේම තමන් ලබාගත්තු තත්ත්වයට ආයේ අමුතුවෙන් එකතු කරන්න දේකුත් නැහැ. මට නම් තව හුඟක් වැඩ ඉදිරියට තියෙනවා. නිවන සඳහා මට ඒ කරපු ටිකට තවත් එකතු කරගන්න, හුඟක් භාවනා වශයෙන් කරන්න දේවල් තියෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ මට ඉඩ දෙනවා නං මම යනවා” කියලා. දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා “මේඝිය මා දැන් මේ අවස්ථාවේ තනියමයි ඉන්නේ. තව භික්ෂුවක් එනකල් ඉවසන්න” කියලා. ඒත් ඒකට කීකරු උනේ නැහැ. තුන්වෙනි වරටත් ආයාචනා කරනවා භාග්‍යවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මටයි වැඩ තියෙන්නේ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ ඉඩ දෙනවා නම් - එතන යොදනවා - “පධාන” කියන වචනය. පධාන කියල කියන්නේ දැඩි වීර්යය - භාවනාව සඳහා පධාන වීර්යය යොදන්ට මට ඉඩ දෙනවා නම් මම එතෙන්ට වඩිනවා කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මධ්‍යස්ථව ප්‍රකාශ කරනවා “හොඳයි මේඝිය ඉතින් පධාන වීර්යය යොදනවා කියල කියනව නම් අපි මොනවද කියන්නේ. එහෙනම් ඉතින් කැමැත්තක් කරන්න” කියලා බුදු පියාණන් වහන්සේ “මධ්‍යස්ථව” අවසර දුන්නා.
ඔන්න ඉතින් මේඝිය ස්වාමීන් වහන්සේ බොහොම ලොකු බලාපොරොත්තු, අධිෂ්ඨාන, ඇතිව ගියා අර කියාපු අඹ වනයට. ගිහිල්ලා එතන හොඳ අඹ ගසක් යට, හොඳ ස්ථානයක ආසනයක් එහෙම පිළියෙළ කරල ඔන්න ඉඳ ගත්තා භාවනාවට. භාවනාවට ඉදගත්තට මොකද ඉඳගත්ත වේලාවේ ඉඳලාම ගලාගෙන එනවා සිතට විතර්ක ධාරාවන්. අකුසල විතර්ක - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ පින්වතුන් දන්නවා අර ආර්ය අෂ්ටාංශික මාර්ගයේ තියෙන ඒ සම්මා සංකප්පවලට විරුද්ධ ටිකයි මේ තියෙන්නේ - මිච්ඡා සංකප්ප - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේව ගලාගෙන එනවා හිතට. ඊළහට මුළු හවසම බැලුව භාවනා කරන්න. සිත එකඟ කරගන්න බෑ. එකලස් කරගන්න බෑ. එතකොටම ලොකු සංවේගයක් ඇතිවුනා. “අපොයි මම මේ හොඳ ශ්‍රද්ධාවෙන් පැවිදි වුන කෙනෙක්. මේ විදියටත් මේ විතර්ක ගලාගෙන එන එක මහ පුදුමයක් නේද” කියලා. ඔන්න ඊළහට හවස් වරුවේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. “භාග්‍යවතුන් වහන්ස, මම මෙහෙම ගිහිල්ලා භාවනාවට ඉඳගත්තා. ඉඳගත්තු වේලාවේ ඉඳලා මේ විදියට මහා විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, කාම විතර්ක, ගලාගෙන එනවය කියලා.” අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ හොඳ වටිනා දේශනාවක් දේශනා කළා. මේඝිය යම් කෙතෙකුගේ සමාධිය ශක්තිමත් නැත්තම්, මෝරලා නැත්තම්, ඒ සමාධිය මොරවා ගැනීමට මේරු තත්ත්වයට පත්කර ගැනීමට, උපකාර වන ධර්ම 5ක්, කාරණා 5ක්, කියනවා. මොනවද ඒ කාරණා?
පළමුවෙනි කාරණය මොකද්ද, ඔන්න යම්කිසි භික්ෂුවකට හොඳ කළ්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබෙනවා. අන්න ඒක පළමුවෙනි කාරණය. කළ්‍යාණ මිත්‍රයෙක් ඉඳීම. දෙවැනි කාරණය මොකද්ද, යම්කිසි භික්ෂුවක් ඒ තමන්ට අයිති ශීලයෙන් සම්පූර්ණයි. ඒ කියන්නේ ඒ විනය නීති සුළු වරදෙහි දොස් දකිමින් භය දකිමින් තමන්ගේ ශික්ෂාපද හරියට රකිමින් ශික්ෂා පදයට අනුව හික්මෙමින් විනය රකිනවා. ශීලය සම්පූර්ණ කරගන්නවා. සිල්වත් වීමයි එතනින් කියන්නේ. ඊළහට තුන්වෙනි කාරණය මොකද්ද, ඒ භික්ෂුවට දස කථා වස්තු කියලා කියන නිවනට උපකාර වන, නිවන් අදහස් ගෙන දෙන, ධර්ම කථාවල් අසන්ට අවස්ථාව ලැබෙනවා. මොනවද දස කථා වස්තු ධර්මයේ දැක්වෙන? ඒවා මෙන්න මෙතනත් බුදු පියාණන් වහන්සේ එකින් එක දක්වනවා. අප්පිච්ඡ කථා, සන්තුට්ඨී කථා, පවිවේක කථා, අසංසග්ග කථා, විරියාරම්භ කථා, සීල කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුත්ති කථා, විමුත්ති ඤාණ දස්සන කථා කියලා මෙය දස කථා වස්තු. ඒවත් අපි කෙටියෙන් තේරුම් කලොත් - අප්පිච්ඡ කථා කියලා කියන්නේ ආසාවන් අඩු බව පිළිබද කථාවන්. මෙතන මේ කථාවන් කියලා කියන්නේ පින්වත්නි, ධර්ම දේශනාවකදී අසන්ට ලැබෙන කාරණයි. ධර්ම දේශනාවක අල්පේච්ඡතාව පිළිබදව - එහෙම නැත්තම් ධර්ම සාකච්ඡාවකදීයි කියලා හිතමු - අර භික්ෂුවට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් අසන්ට ලැබෙනවා. ඒකේදී කියවෙනවා, තමන්ගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා කියලා දෙනවා, ආසාවන් අඩු බවේ ආනිසංස - අප්පිච්ඡ කථා. ඊළහට සන්තුට්ඨී කථා කියලා කියන්නේ ලද දෙයින් සතුටුවීම පිළිබද කථාවන්. පවිවේක කථා කියලා කියන්නේ දැඩි විවේක වාසය පිළිබදව, ඒකේ වටිනාකම - ආනිසංස - පිළිබදව කථාවන්. ඊළහට අසංසග්ග කථා කියලා කියන්නේ පිරිස් වලින් වෙන්වෙලා, රැලෙන් වෙන් වෙලා - දැන් මේ පින්වතුන් දන්නවා වල් මී හරක් දිහා බැලුවත්, අනෙක් සතුන් දිහා බැලුවත් රැල රැල හැසිරෙන ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍යයින්ටත් මේ රැලේ විසිම පුරුද්දක් වෙලා තියෙනවා. රැලෙන් තොරව, පිරිසෙන් තොරව, ජීවත් වීම මහා වදයක් බොහෝ දෙනාට, ඉතින් එකයි අසංසග කථා කියලා කියන්නේ. අර රැලෙනුත්, රැල නිසා එන රැල්ලෙනුත්, හිත ආරක්ෂා කරගෙන ජීවත්වීමේ වටිනාකමයි - අසංසග්ග - ඒ කියන්නේ පිරිස් පිළිබද සම්බන්ධ නැතිව වාසය කිරීමේ ආනිසංසයි. අසංසග්ග කථා. ඊළහට විරියාරම්භ කථා කියන්නේ වීර්යය ඇරඹීම පිළිබදව - කෙලෙස් තැවීමට කුසල් ධර්ම ළංකර ගැනීමට අකුසල් ධර්ම ඉවත් කර ගැනීමට වීර්යය දැරීමේ, වීර්යය ඇරඹීමේ, ආනිසංස පිළිබද කථාවයි. ඊළහට කියන හරිය වචන වශයෙන්ම තේරෙනවා. සීල කථා කියන්නේ ශීලය පිළිබද කථා. සමාධි කථා, සමාධිය පිළිබද කථා. පඤ්ඤා කථා ප්‍රඥාව පිළිබද කථා විමුත්ති කථා කියන්නේ නිවන පිළිබද කථා. විමුත්ති ඤාණ දස්සන කථා නිවනට අදාළ ඒ ඤාණ පිළිබද කථා. ඔය විදියට දස කථා වස්තු පිළිබද කාරණා අසන්ට අවස්ථාව ලැබීමත් අන්න අර විදියේ වටිනා ලැබීමක් භික්ෂුවකට - සිත සකස් කර ගැනීමට. ඊළහට කියනවා. ඒ වගේම ඒවායින් ප්‍රයෝජන අරගෙන, ඔන්න හතරවෙනි කාරණය මොකක්ද? යම්කිසි භික්ෂුවක් අකුසල් සිතිවිලි ඉවත් කිරීමටත් කුසල් ධර්ම ළංකර ගැනීමටත්, දැඩි වීර්යයකුත්, නොපසුබස්නා වීර්යයකුත්, උට්ඨාන වීර්යයකුත් ඇතිව ඒ කටයුත්තෙහි යෙදෙනවා. ආරද්ධ විරිය කියලා කියනවා. ඒක හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය මොකක්ද? යම්කිසි භික්ෂුවක් ඇතිවීම් නැතිවීම දක්නා ඒ ගැඹුරු විදර්ශනා ඥානයට හුරු එහෙම නැත්තම් “උදයබ්බය” කියලා එහෙම කියන ඒ විදියේ ලෝකයේ අනිත්‍යතාව පිළිබදව ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ඇතිවීම සහ නැතිවීම නිතර පෙනෙන විදියේ විනිවිද යන ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙනවා.
එතකොට මේ කාරණා පහ බොහොම උපකාර වෙනවා කෙනෙකුට භාවනා කරන්න යන්න කලින් තමන්ගේ හිත සකස් කර ගැනීමට. මොනවද කාරණා පහ? අපි කෙටියෙන් සඳහන් කළොත්, යම්කිසි භික්ෂුවකට - භික්ෂුවක් කියලා කිව්වට මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන් භාවනායෝගී යෝගාවචරයෙකුට පවා - කළ්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. මිත්‍රයා කියන එක සමාජයේ භාවිතාවන අර්ථයෙන් නෙවෙයි - මේ පින්වතුන් දන්නවා - ශාසනයේ කළ්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ, අර කරට අත දාගන්න කෙනෙක් නෙවෙයි. මිත්‍රයා කියලා කියන්නේ, යාළුවා කියලා කියන්නේ සමාජයේ එකට හොඳ හෝ නරක හෝ ඒවායේදී සමාගම් පවත්වන කෙනෙක්. එහෙම එකක් නෙවෙයි මෙතන කළ්‍යාණ මිත්‍රයා. කියලා කියන්නේ. ඒ වචනය යෙදුවේ. දැන් බුදු පියාණන් වහන්සේ කළ්‍යාණ මිත්‍රයා කියලා කියන කොට අපිට තේරුම් ගන්ට පුළුවන් එතන කොයිතරම් ගැඹුරු වචනයක්ද මේ මිත්‍ර කියන එක - කළ්‍යාණ මිත්‍රයා. උන්වහන්සේ වැදලා පුදලා උපදෙස් ලබාගත යුතු ගුරුවරයෙක්. මෙතන කියන්නේ එතකොට පළමුවෙනි කාරණය ගුරු ඇසුර. දෙවැනි කාරණය තමන්ට අයිති ශීලයෙන් ශීලවන්ත වීම. තුන්වෙනි කාරණය අර විදියට දස කථා වස්තු. සංසයා වහන්සේලා පිළිබදව කිව්වා වගේ එසේ පින්වතුන්ටත් තමන්ගේ භාවනාවට උපකාර වන අන්දමට නිවන පිළිබදව, නිවනට අදාල ධර්ම සාකච්ඡා, ධර්ම කථා, ධර්ම දේශනා, ආදිය ඇසීමට අවස්ථාව ලැබීම. ඊළහට හතරවෙනි කාරණය තමනුත් ඒ අනුව වීර්යයක්, දැඩි වීර්යයක්, නොපසුබස්නා වීර්යයක් යෙදීම. පස්වෙනි කාරණය තමන්ගේ ඒ ප්‍රඥා ශක්තිය. එළඹ සිටි හොඳ සිහිය යොදලා, ප්‍රඥාව යොදලා, ඒ කටයුත්තේ යෙදීම. මෙය කාරණා පහ මූලිකයි, ප්‍රාථමිකයි, ගැඹුරු අදහසින්ම නිවන් කටයුත්තට බසින කෙනෙකුට.
ඔය ටික කියලා ඊළහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මේඝිය ඔන්න ඔය ධර්ම පහ උපකාර කරගෙන, ඔය කාරණා පහ උපකාර කරගෙන, තමාගේ සමාධිය මේරුණු තත්ත්වයට පත්කර ගත්තු කෙනා විසින් ඊළහට භාවනා හතරක් වැඩිය යුතුයි. මොනවද ඒ? ඔන්න ඒකත් දක්වනවා. අසුභය වැඩිය යුතුයි රාගය ප්රහාණය කිරීම සදහා. මේ පින්වතුන් දන්නවා අසුභ භාවනාව කරන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ අරගෙන එන බරපතල ක්ලේශයක් වන ඇල්ම -”රාගය” - කියල කියන ඒ ක්ලේශයෙන් සිත මුදා ගැනීමටයි. ඊළහට ඒ වගේම මෛත්‍රීය වැඩිය යුතුයි. ව්‍යාපාදය කියලා කියන ද්වේශය, තරහ, ඉවත් කර ගැනීම සදහා. දැන් දන්නවා එතකොට ඇළීම ගැටීම දෙකට බොහෙත් ටික බුදු පියාණන් වහන්සේ ඔය දෙකෙන් ප්‍රකාශ කලේ. ඊළහට තුන්වෙනුව දක්වනවා - තුන්වෙනි භාවනාව හැටියට - ආනාපාන සතිය වැඩිය යුතුයි. ආශ්වාස ප්‍රශ්වාස පිළිබදව සිහිය පිහිටුවීම කියල කියන ආනාපාන සති භාවනාව වැඩිය යුතුයි. ඒකෙන් වෙන කෘත්‍යය, ප්‍රධාන පරමාර්ථය, මොකද්ද “විතක්කුපච්ඡේදය” විතර්කයන් කපා හැරීම සදහා. විතර්කයන් කපා හැරීමට උපකාර වෙනවා තමාගේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යෙදීම. සාමාන්‍යයෙන් විතර්ක ගලාගෙන එන කොට හුස්ම ගන්න බවවත් තමන්ට මතක නෑ. නමුත් අමාරුවෙන් හරි මේ සියුම් ක්‍රියාවලියට හිත යොමුකරන කොට විතර්ක වලට ඉඩ නැතිවෙලා යනවා. අන්න ඒකයි ඒ විතර්ක කපා හැරීමට විශේෂයෙන් ආනාපාන සතිය උපකාරී වෙනවා කියල ප්‍රකාශ කලේ. ඊළහට හතර වෙනුව දක්වන භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන්නෙයි කියල වදල බුදු පියාණන් වහන්සේ. අනිත්‍යතාව, අනිත්‍ය සංඥාව නිතර ඇතිව සිටින්න. ඒක උපකාරී වෙනවා අස්මිමානය මුලිනුපුටා දැමීමට. අස්මිමානය කියලා කියන ගැඹුරු මාන්නය සාමාන්‍ය ලෝකයේ මාන්නය, ආඩම්බරය, කියලා කියන, උඩඟුකම කියලා කියන එකේ යටින් තියෙන ඉතාමත්ම සියුම් කොටසක් තමයි “වෙමි” කියන මානය, “අස්මි” කියන මානය. අන්න ඒක ඉවත් කිරීමට උපකාර වෙනවා අනිත්‍ය සංඥාව.
ඔය විදියට භාවනා හතරක් බුදු පියාණන් වහන්සේ වදාළ. ඔහොම ප්‍රකාශ කරලා ඊළහට මේඝිය ස්වාමීන් වහන්සේට කියනවා ඒකේ සතේකුකත්වය. එහෙම දක්වන්න හේතුවත් පෙන්නුම් කරනවා. දැන් අනිත්‍ය සංඥාව කියලයි එතන ඒ භාවනාව හැටියට දුන්නේ. අනිත්‍ය සංඥාව තුළින්ම ඊළඟට නිවන කරා යන්න පුළුවන් බව දක්වනවා. “මේඝිය අනිත්‍ය සංඥාව ඇති කෙනා තුළ අනාත්ම සංඥාව ඇති වෙනවාය. අනාත්ම සංඥාව ඇති තැනැත්තා අස්මි මානය - වෙමි කියලා කියන සියුම් මානය - ඉවත් කරලා දිටු දැමියෙහිදීම, මේ ලෝකයේදීම, මෙහිදීම, ඒ සසර දුක් නිවන ඒ නිවීමට, උතුම් නිර්වාණ තත්ත්වයට, පත් වෙනවාය” කියලා ඒ විදියට ප්‍රකාශ කොට වදාළා. එහෙම ප්‍රකාශ කරලා උදාන ගාථා, ප්‍රීති වාක්‍ය, වශයෙන් ගාථා දෙකකුත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒක අපි අර කලින් මාතෘකා කළ ගාථා නෙවෙයි, ඊට අමතරවයි ඒ ප්‍රකාශ කළේ. බුදු පියාණන් වහන්සේ මේ විතර්ක වලින් කෙනෙකුට ඇතිවන පීඩනයත් එයින් තමන් වහන්සේ නිදහස් බවත් පෙන්නුම් කරන විදියේ ගාථා දෙකක් එතන වදාළා.
ඛුද්දා විතක්කා සුඛුමා විතක්කා
අනුග්ගතා මනසො උප්පිලාවා,
එතෙ අවිද්වා මනසො
විතක්කෙ
හුරාහුරං ධාවති භන්තචිත්තො.
ඒ කියන්නේ, කුඩා විතර්ක, සියුම් විතර්ක - ඛුද්දා විතක්කා, සුඛුමා විතක්කා, අනුග්ගතා මනසො උප්පිලාවා - සිත ඉල්ප වන අන්දමේ, සිත උලුප්පවන අන්දමේ, සිතෙන්ම ඇතුළතින්ම පැන නගින ඒ විදියේ විතර්ක - මෙන්න මේ විතර්ක - ඒතේ අවිද්වා - අඥාන පුද්ගලයා මෙබදු - මනසො විතක්කෙක - මනසේ ඇතිවන මේ විතර්ක - හුරාහුරං ධාවති හත්ත විතෙතා භ්‍රාන්ත වෙලා, භ්රාන්තියට පත්වෙලා, අන්ද මන්ද වෙලා, අර මේඝිය ස්වාමීන් වහන්සේට වුනා වගේ අන්ද මන්ද වෙලා, ඒ අතට මේ අතට මේ විතර්ක හිත ඇතුළේ දුවවනවා. එහාට මෙහාට දුවනවා වගේ - දැන් මේ පින්වතුන් දන්නවා හිතේ ඇතිවන ඒ විතර්ක අනුව කය එහාට මෙහාට නොගියත් තමන් හරියට එහාට මෙහාට දුවන්තා වගේ. වික්ෂිප්ත හිත ඇති තැනැත්තා, දැන් ඔය සාමාන්‍ය තිරිසන් සතෙක් ඒ සිතිවිල්ල අනුව එහාට මෙහාට දුවනවා පේන්නේ, අන්න ඒ වගේ එබදු නොසන්සුන් අවස්ථාවකට පත්වෙනවා කියලා ඒ සාමාන්‍යයෙන් විතර්කයන් හික්මවා ගන්ට බැරි පුද්ගලයා පිළිබදව එහෙම ප්‍රකාශ කරලා ඊළඟ ගාථාවේ දක්වනවා.
එතේ ච විද්වා මනසො විතක්කෙක - ආතාපියො සංවරති සතීමා
අනුගතේ මනසො උප්පිලාවේ -
අසෙසමෙතේ පජහාසි බුද්ධො
අන්න ඊළඟට තමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා. ඔන්න ඔය කියාපු විතර්ක ජාතිය, විතර්ක සමූහය - එතෙව විද්වා මනසො විතක්කෙක “ආතාපියො සංවරති සතීමා” - ඒ බුදු පියාණන් වහන්සේ එහෙම නැත්තම් ඒ නුවණැති පුද්ගලයා මොකද්ද කරන්නේ “ආතාපී” කියල කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව සතිමන්තව මේවා සංවර කරනවා. මේ විතර්ක සංවර කරනවා. හික්මවා ගන්නවා. මෙතන මේ විදියට හිතේ ඇතිවන මේ විතර්ක සියල්ලෙන්ම බුදුවරයා නිදහස් කියන එකයි එතන ඒ උදන ගාථාව වශයෙන් ප්‍රකාශ කළේ.
ඒ මේඝිය ස්වාමීන් වහන්සේ කළ වරද මොකක්ද? දැන් අපිට හිතාගන්ට පුළුවන් මේඝිය ස්වාමීන් වහන්සේ ගියේ හොඳ වැඩකට තමයි. ප්‍රධාන වීර්යයටයි. ඒකයි බුදු පියාණන් වහන්සේ අන්තිමට කිව්වේ “ආ එහෙම කියනවා නම් අපි මොනවා කියන්නද? එහෙනම් යන්න” කියලා නමුත් ඒ ගියේ නියම අවස්ථාවට පැමිණෙන්න කලින්. ඉක්මන් වුනා වැඩියි. ඔන්න ඕකයි අපිට හිතාගන්න තියෙන්නේ. භාවනාව කියන එක හොඳ අදහසක් නමුත් මේඝිය ස්වාමීන් වහන්සේ ඉක්මන් වුනා වැඩියි. ඒ වගේම බරපතල වරදක් කළා. බුදු පියාණන් වහන්සේගේ වචනෙට අකීකරුවීම. තුන්වෙනි වරටත් අර ඉල්ලීම කළා. ඒක ආර්යෝපවාදී කර්ම වගේ බරපතල කර්මයක්. ඒකේ විපාකෙම ඇති හිත නොසන්සුන් වෙන්න. ඒ තරම් බරපතල දෙයක්. උපස්ථායකයෙක් හැටියට ඇවිල්ලා, ඒ වත පිළිවෙතත් අමතක කරලා, බුදු පියාණන් වහන්සේ පිළිබද වත පිළිවෙතත් අමතක කරලා, උපදෙසත් තොතකා අර විදියට භාවනා කරන්න ගියා. ලොකු අදහසක් නමුත් වැඩේට සුදානම් නෑ. සිත සකස්වෙලා නෑ තාම. දැන් ඔය වාහනයක් එළවන්න වුනත්, අළුත් වාහනයක් ගත්තත් තමන් ඒ වාහනය එළවන්න දන්නේ නැත්තම් “L” අකුර ගහගෙනයි කලක් යන්නේ තවත් කෙනෙක් ළහ ඉන්දවාගෙන. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් බුදු පියාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන නිසි අවස්ථාවට යායුතු පුද්ගලයෙක්. නමුත් ඉක්මන් වුනා. ආඩම්බරය, මාන්නය නිසාත්. ඒකයි අර “බුදු පියාණන් වහන්සේ නම් වැඩ ඉවර කරගෙනයි මම තාම නෑ” කියලා ඒ විදියට වචන හිටං ප්‍රකාශ කළේ. ඉතින් ඒකටත් හරියන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඔන්න හිතේ ස්වභාවය, සිතක ස්වාභාවය, හෙළිකරන, අපි අර කලින් මාතෘකා කළ ගාථා ටික වදාළා.
එඤ්ඤාණං වපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝව
තෙජනං
හොඳ උපමාවකුත් එක්කයි. මේ පින්වතුන් දන්නවා ඔය ධම්මපද ගාථාවල - දැන් මේකත් චිත්ත වග්ගයේ තියෙන ගාථාවක් - බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ උපමා දෙන්නේ. දැන් මෙතන කියන්නේ මේ හිතේ ස්වභාවය “එඤ්ඤාණං වපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං.” මේ හිත කියන එක - “එඤ්ඤාණං” කියලා කියන්නේ සැලෙනවා. මේක තේරුම් කරන්නේ දැන් රූප ශබ්ද ආදී අරමුණු හමුවේ මේ සිතේ සැලෙන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය සාංසාරික සත්ත්වයා තුළ. ඒ සිත සැලෙනවා - “එඤ්ඤාණං” - “වපලං” ඒ වගේම සිත චපලයි. දැන් අර මේඝිය ස්වාමීන් වහන්සේ නිවන් දකින අදහසින් ගියේ. නමුත් චපලයි. අන්තිමට අර කාම විතක්ක ආදියට පවා යටවුනා. සිතේ ස්වභාවය මේකයි. අමුතු දෙයක් නෑ. මේක බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. මොකද, අර සංසාර වට වළල්ලේ මෙච්චර කාලයක් දුවපු හිත එක පාරටම මේකෙන් පන්නගන්න අමාරුයි. අර සාංසාරික ජවයයි තවම යන්නේ. මේකට සැහෙන ලොකු ජවයක් ඇතුළතින් එන්ට ඕන. ඒකටයි අර කියාපු කාරණා පහ, අර ගුරු ආශ්‍රය ආදිය, උපකාර වෙන්නේ. ඉතින් - එඤ්ඤාණං වපලං - මේ සිත චපලයි. චපල කියන එක මේ පින්වතුන් දන්නවනේ. අමුතුවෙන් කියන්ට ඕන නෑ. ඒක වචනය පිළිබද චපල බව පමණක් නොවෙයි මෙතන කියන්නේ. දැන් “චපල” කියන එක අපි බොහෝවිට යොදන්නේ වචනය පිළිබදව. නමුත් මෙතන “චපල” කියන්නේ හිත කරන්න ගිය වැඩේ නෙවෙයි වෙන එකක් කරන්නේ. ඒකයි “එඤ්ඤාණං චපලං චිත්තං.” “දුරක්ඛං” කියලා කියන්නේ ඒකට උපමාව දෙන්නේ ගොයම් පැහිච්ච කාලෙක ගොයම ආරක්ෂා කර ගන්න අමාරුව වගේ හරකුන්ගෙන්, ඒවගේ මේ කමටහන් අරමුණ ආරක්ෂා කරගන්න, කමටහන් අරමුණේ සිත පවත්වා ගන්න, අමාරුයි - “දුරක්ඛං” මේ සිත රැක ගන්න අමාරුයි, කොටින් කියතොත්. ඒවගේම “දුන්නිවාරයං” සිත අකුසල අරමුණුවලට යාම වළක්වා ගන්නත් අමාරුයි. සිත රැකගන්න අමාරුයි. මේක බිඳගෙන, කඩාගෙන, යන්න හදන කොට ඒක වළක්වා ගන්න එකත් ලේසි නෑ. ඒක හිතේ තත්ත්වයයි. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කිරීමයි බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවක දකින්න ලැබෙන ලක්ෂණය. ඉතින් සිතේ ඔය දුර්වලකම් බලාපොරොත්තු විය යුතු දේවල්. “උජුං කරෝති මේධාවී” නමුත් “මේධාවී” කියල කියන ප්‍රඥාවන්තයා, ඥානවන්තයා, මොකක්ද කරන්නේ? කුටිල වංක චපල සිත සෘජු කරනවා, කෙලින් කර ගන්නවා. කොහොමද? ඔන්න ඊළඟට උපමාව දෙනවා. “උසුකාරෝව තෙජනං” ඊතල හදන වඩුවෙක් - හී වඩුවෙක් - ඊතලයක් කෙලින් කරන්නා වගේ. ඊතලයක් කෙලින් කරලා ගන්න එක. ඊතලයක් කියන එක, අපි හිතමු කැලෙන් ඒකට ගැලපෙන හොඳ අරුටුව ඇති ලීයක් අරගෙන ඇවිල්ලා ඒක ඇහැල කියලා, ඊළඟට ඒක ඇද නම් ඒකට කෙළින් කරන ආකාරයට කූඤ්ඤ වගේ මොනවා හරි ක්‍රමයකින් ඒක කෙළින් කරලා ඊළඟට තෙල් ගල්වලා පදම් කරලා හොඳට උල් කරලා තමයි ඊතලයක් හදන්නේ. ඊතලය හදලා ගත්තාට පස්සේ ඒක කොයි තරම් ශක්තිමත්ද කියතොත්, කොයිතරම් විශාල වැඩක් කරනවද කියතොත්, අර දක්ෂ දුනුවායෙකුට අශ්ව ලෝමයක් විදින්න පුළුවන් විදුලි කොටන එළියෙන්. පින්වතුන් මේ උපමාව අහලා තියෙනවනේ “අඳුරේහි අස්ලොම විදින්ට දුරදී - විදුලිය පැහැ වැරදුනාහොත් වරදී” කියලා ඔය විදියට කියන්නේ. ඒ වගේ දෙයක් තමයි ඔය නිවන් දැකීම කියන එක. නිර්වාණාවබෝධයක් කරන්න ප්‍රඥා ශක්තිය දියුණු කර ගැනීමයි එතන කියන්නේ. මේ ඔක්කොම කරන්නේ සිතෙන් නේ. සිත අර විදියට හී වඩුවෙක් ඊතලයක් ක්රමානුකු උත්සාහයකින් පදම් කරලා කෙළින් කරලා තියුණු කරලා ගන්නවා වගේ, ඥානවන්තයා තමාගේ සිත - අර විදියේ දුර්වලතා ඇති සිත - සෘජු කරනවා කියලා එහෙම වදාළා. ඒ වගේම ඔන්න ඊළහට ප්‍රකාශ කරනවා තවත් උපමාවක් දක්වලා -
වාරිජෝව එලෙ ඛිත්තො - ඔක මොකත උබ්භතො
පරිප්ඵන්දතිදං චිත්තං - මාර ධෙය්‍යං
පහාතවෙ
එතනත් උපමාවක් දෙන්නේ. මාලුවගේ නිවාසය ජලයයි. අන්න ඒ ජලය නමැති නිවාසයෙන් ගොඩ අරගෙන ගොඩබිමේ දමාපු මාළුවෙක් යම් ආකාරයකට ඒ අතට මේ අතට දඟලනවද , අර පුරුදු මාරයාගේ රාජධානියෙන් ඉවත් වෙන්ට උත්සාහ කරන අවස්ථාවේ මේ සිත හරියට අර ‘දියෙන් ගොඩලූ මසෙකු මෙන්’ ඒ මේ අත සැලෙනවය කියලා. ඔන්න සිතේ තත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ඒ ගාථා දෙකෙන්.
එතකොට, මෙය අපට කීප අතකින්ම වටිනා සූත්‍ර දේශනාවක්. දැන් අර කථාන්තරය ආශ්රයෙන් අපිට මේවට අඩුපාඩු තව එකතු කරගන්න පුළුවන්. ගාථාවල සාමාන්‍ය අදහස අපි මෙතන දැක්වූවේ. දැන් කථාන්තරය ගැන හිතලා බැලුවත් අපි කලින් සඳහන් කළ ආකාරයට භාවනායෝගියෙකුගේ - යෝගාවචරයෙකුගේ - නිවන් දැකීමේ අදහස හොඳයි. ඒ ඕනකම හොඳයි. නමුත් ඒකට සුදුසු ආකාරයට සිත සකස් කර ගත යුතුව තිබෙනවා - ඒකට ඕන කරනව ඡන්දය. ඒ කියන්නේ බලවත් ඡන්දයක් ඕන කරනව. ඉස්සෙල්ලම, ප්‍රධාන කාරණය ගුරුහරුකම් ඕන. ඒකටයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය. ඊළඟට එකට ඕන කරන ඡන්දය කියලා කියන බලවත් ඕනෑකම. කෙනකු තුළ ඇත්ත වශයෙන්ම බලවත් ඔනෑකමක් ඇති වෙන්න ඕන. දැන් අර මේඝිය ස්වාමීන් වහන්සේ හිතුවා නිවන් දකින අදහසින්, එහෙම නැත්තම් ලොකු ශ්‍රද්ධාවකින්, මහණ වුනු පමණින්ම තමන්ගේ හිතට මේ කෙලෙස් ගලාගෙන එන්තේ නෑ කියලා. එහෙම හිතලා තමයි අර සංවේගයට පත් වුනේ. නමුත් මේක ධර්මතාවක්, දැන් අපි වාහනයක් ගැන කිව්වා වගේ කල්පනා කරල බලමු. දැන් ඔය වාහනය සාමාන්‍යයෙන් ගැරේජ් එකක නවත්තලා තියෙන කොට එකට අනතුරු වෙන්නේ නැහැ. ගැරේජ් එකක තියෙන වාහනයකට කවදාවත් ඔය වාහන අනතුරු කියන ජාතියක් වෙන්නේ නෑ. පාරට අරගත්තු හැටියේ ඉදලා තමයි ඔන්න අනතුරුවලට මුහුණ දෙන්ට සිද්ද වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයා භාවනා කරන්න ඕන කියලා හිත හිත ඉන්න කාලෙදී මොකුත් අනතුරක් නෑ. ඒකට බැහැලා විවේකයට ගිය දවසට තමයි ඔන්න මාර පීඩන එන්නේ. අන්න ඒකයි තත්ත්වය. ඒක බලාපොරොත්තු විය යුත්තක්. ඒකට සුදානම් වෙලා යන්න කියන එකයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර විදියට ගුරු ආශ්‍රයක් තියෙන්න ඕන. ගෞරවයකින් ඒ උපදෙස් පිළිපදින්න ඕන. ඊළඟට බලවත් ඡන්දයක් තියෙන්න ඕන. ඊළඟට තමන්ගේ ශීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන. සිල්වත් වීම නැත්තම් පසුතැවිලි ඇති වෙනවා. ගිහිල්ලා ඉද ගත්තහම “අපෝ මං මෙහෙම මෙහෙම කරල තියෙනවා නේද” කියලා ඒ විතර්ක - පසුතැවිලි පිළිබදව.
දැන් මේ පින්වතුන් දන්නවා. භාවනා කරන කෙනෙක්, සිත සමාධිමත් කර ගැනීමට උත්සාහ කරන කෙනෙක්, ඒ සමාධිය අවුරාලන නීවරණ ධර්ම 5ක් පිළිබදව දැනගෙන තිබෙන්නට ඕන. කොයි ආකාරයකින් නමුත් - වචන වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන වචන වශයෙන් තිබෙන එක අපි සාමාන්‍යයෙන් සිංහලයට නැගුවොත් කාමයන් පිළිබද සිතිවිලි, එහෙම නැත්තම් කාම සිතිවිලි ඊළඟට ද්වේශ සිතිවිලි ඊළඟට නිදිමත අලසගති ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියල කියන්නේ නොසන්සුන්තාවන්, නොසන්සුන්තාව කියලා කියන්නේ අනාගතය පිළිබද නොසන්සුන් සිතිවිලි. ඒ වගේම පසුතැවිලි. අතීතයේ කරපු කියපු දේවල් පිළිබද පසුතැවිලි. ඔය දෙක එකක් හැටියටයි දක්වන්නේ. විචිකිච්ඡා කියලා කියන දෙගිඩියාව. මේක හරියාදෝ නොහරියාදෝ කියලා ඔය විදියට දෙගිඩියාව. ඔය කාරණාවලින් සිත මුදගෙන තමයි යම්කිසි කෙනෙක් සිත තැන්පත් කරගන්නේ. සමාධිය කියල කියන්නේ තැන්පත් බව.
ඔන්න ඕව නැති කර ගැනීමට උපකාර වෙනවා අර කියාපු කාරණා. දැන් ශීලය, විශේෂයෙන්ම ශීලය අපිරිසිදු නම් ඒ තැනැත්තාට අර විදියට කුකුස් ඇතිවෙනවා. තමන්ගේ අතීතය පිළිබදව සිතිවිලි ගලාගෙන එනවා. මෙහෙම මෙහෙම කරලා තියෙනවා නේද කියලා. ඉතින් ඒක නිසා ශීල සම්පන්න වෙන්න ඕන. ඊළඟට ඒ වගේම අර දස කථා වස්තු ඇසීමෙන් තමන් තුල මේ නිවන පිළිබද යම්කිසි අවබෝධයක්, ගමන් මාර්ගය පිළිබද යම්කිසි අවබෝධයක් ලබාගන්නවා වගේම ඒවා තුළින් කළ යුතු දේවල් - අල්පේච්ඡතාව, සන්තුෂ්ටිතාව ආදී ඒ ගුණ ධර්ම පිළිබද යම්කිසි අවබෝධයක් ලබාගෙන ඒක අනුව හික්මෙන්නත් ඕන. ඊළඟට ආරද්ධවීර්ය කියල කියන්නේ දැඩි වීර්යයක්, නොපසුබට වීර්යයක් අධිෂ්ඨාන කරගෙන යන්න ඕන. ඊළඟට ඒ වගේම ප්රඥව තියෙන තැනැත්තෙක් - ඥානවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයෙක් - වෙන්න ඕන. ඔය විදියේ කාරණා. ඒවා මුකුත් තොතකා, විශේෂයෙන්ම අර බුදු පියාණන් වහන්සේගේ උපස්ථානය ගැන කිසිත් නොතකා, එහෙම යාම තුළින් කෙනෙකුට භාවනාව සාර්ථක කර ගන්න බැහැ. ගුරු ඔවදනට පිටුපෑ අවස්ථාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ.
ඉතින් ඒ කථාවෙනුත් අපට බොහොම ආදර්ශ ගන්න පුළුවන්. ඊළඟට මේ අනිකුත් කාරණා. අපි හිතල බලමු. මේ කියපු භාවනා හතර ගැන. ඒක පිළිබදවත් කල්පනා කරලා බැලුවොත් දැන් බුදු පියාණන් වහන්සේ මෙතන මේ භාවනා 4 දෙන ආකාරයත්, සමහර විට ක්‍රමානුකූලයි කියලා හිතන්න පුළුවන්. බොහෝවිට බුදු පියාණන් වහන්සේගේ දේශනා - බොහෝ විට නෙවෙයි හැමවිටම - කොටින්ම කියතොත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක්ද මේක, නැද්ද, කියන එක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි මේ කාරණාවල ගැලපීම කොහොමද කියල බැලීම. ඒතරම් පුදුම විදියට ගැලපෙන්නේ. පළවෙනි එක ළහට, දෙවෙනි එක. දෙවෙනි එක ළහට, තුන්වෙනි එක. තුන්වෙනි එක ළහට, හතරවෙනි එක. හතරවෙනි එක ළහට, පස්වෙනි එක. ඔය විදියට. දැන් මෙතනත් දක්වන්නේ - භාවනා වශයෙන් දක්වන කොටත් කලින්ම දක්වනවා. මේ සත්ත්වයා සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ප්‍රබලම - මේ පින්වතුන් කවුරුත් දන්නවනේ - ප්‍රබලම සාංසාරික පුරුද්ද තමයි ඇල්ම. ඇලීම, රාගය. ඒක කොයි ආකාරයෙන් ගත්තත් සියුම් හෝ රළු හෝ දැඩි ඇලීම් තමයි, ඇලීම ස්වභාවයයි. මේ සංසාරයේ තිබෙන්නේ තණ්හාව කියලා කියන්නේ වෙන අර්ථයකින් ඕකමයි. එතකොට ඒකට ප්රතිකර්මය තමයි අසුභය. විශේෂයෙන්ම මේ ඇලීම ඇතිවන්නේ තමන්ගේ ශරීරයට තිබෙන ඇල්ම නිසයි. එතකොට අසුභය වැඩීමෙන් කරන්නේ ශරීරයේ අසුභ ස්වභාවය වටහා ගැනීමයි. මොකක් නමුත් කමටහනක් - කෙස්, ලෝම්, නිය, දත් ආදී ඒ දෙතිස් කුණුප කොට්ඨාශවලින් යම්කිසි දෙයක් හෝ එහෙම නැත්නම් උද්ධුමාතකාදි මළමිනී පිළිබද යම්කිසිවක්. මේ ශරීරයේ අසුභය මෙනෙහි කරන කරන එකටයි අසුභ සංඥාව කියල කියන්නේ. ඒ අසුභ සංඥාව වැඩිය යුතුයි, රාගය ප්රහාණය කිරීම සදහා. ඊළඟට, ඒ වගේම ඊළඟ එක තමයි - ඒ එක පැත්තකින් ඇලීම - අනික් පැත්තෙන් කියෙන්නේ ගැටීම, ඇලීම සම්පූර්ණ නොවීම නිසා හෝ බොහෝවිට ගැටීම කියන එකත් සිතේ ඇතිවන බරපතල දුර්වලතාවක්. ඒකට ප්රතිකර්මය තමයි මෛත්‍රී භාවනාව. ඒක මේ පින්වතුන්ට බොහොම පහසුවෙන් හිතාගන්න පුළුවන්.
ඔන්න ඊළඟට - දැන් මේ සිත සකස්කර ගැනීම, සිත ඍජු කර ගැනීම, නේ මේ කථාව. දැන් සිත කුටිල - වංක වෙලා යන්නේ, චපල වෙන්නේ, ඔන්න ඔය දෙක අතරෙයි - ප්‍රධාන වශයෙන්. නමුත් ඒතනින් වැඩි ඉවර නෑ. සාමාන්‍යයෙන් අපි පංච කාම සම්පත්තිය ගැන කථා කරනවා. පංච කාමය කියල කියන්නේ මේ බාහිර ඉන්ද්රිය පහෙන් - ඇස, කණ, නාසය, දිව, කය කියන ඉන්ද්රියයන් පහෙන් - එන අරමුණු. මේවා නිසයි අපේ හිත් කැළඹෙන්නේ කියන එකයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. ඒක නිසා සමහර කෙනෙක් හිතනවා දැන් ඉතින් මේවායින් ඇහැත් වහගෙන, කණත් වහගෙන, ඇතිත් ඒවත් පුළුවන් තරම් වහගන, විවේක තැනකට ගියොත් මට පුළුවන් නිවන් දකින්න කියලා. ඒක වැරදි අදහසක්. මොකද, මේ ඉන්ද්රියයන් පහෙන් ගත්තු අරමුණු ඔක්කොම හිතේ එකතු වෙනවා. දැන් මේ පින්වතුන් දන්නවා මේ ඉදිරිපිට තියන යන්ත්‍රය වගේ දැන් මේ කාලේ නොයෙකුත් යන්ත්‍ර පහළ වෙනවා. ඒවා වගේ දෙයක් තමයි මේ අපේ විඤ්ඤාණය කියන එකත්. අතීත සංසාරයේ ගත්තු ඒ සාංසාරික පුරුදු රාශිය ඔක්කොම මේ විඤ්ඤාණයේ තැන්පත් වෙලා තියෙනවා. ඇලුම්, ගැටුම්. ඊළඟට ඒ වගේම ඔය පංචේන්ද්‍රියයන්ගෙන් ගත්තු අරමුණු යම්කිසි ආකාරයකින් ඒවා හිතේ තැන්පත් වෙනවා. මේ පහ වටේට ඉදගෙන ඔක්කොම දූතයෝ වගේ ගෙනල්ලා හිතේ තැන්පත් කරනවා. ඉතින් ඒ හිතේ තැන්පත් වෙච්ච ඒවා මතු වෙන්නේ අන්න අර අවස්ථාවේදී ගිහිල්ලා තනිව ඉදගත්තට පස්සේයි. ඇහැට රූපයක් එන්නේ නෑ. කණට ශබ්දයක් එන්නේ නෑ. මේ ඔක්කොම ගෙන්ම ආරක්ෂා වෙලා. නමුත් සිත ඇතුළෙන් පැන නගිනවා. අර සාංසාරික වශයෙන් චරිතානුකූලව, ඒ වගේම කර්මානුරූපව, මේ විඤ්ඤාණය තුළින් මතුවන නානාවිධ කෙලෙස් විතර්ක. අන්න ඒවට තමයි මේ මේඝිය හාමුදුරුවෝ යටවුනේ. ඉතින් ඔන්න ඔය තත්ත්වයයි දැන් තිබෙන්නේ. ඒකට ප්රතිකර්මය තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට දෙන්නේ - ආනාපාන සතිය.
ආනාපාන සතිය කියන එක ඉතාම සියුම් භාවනාවක්. ඒක අපි සාමාන්‍යයෙන් උපමාවකට කිව්වොත් - දැන් භාවනා කර්මස්ථාන කොතෙකුත් තියෙනවා. නමුත් ආනාපාන සති භාවනාව තමයි රජ මාවත. අපිට කියන්ට පුළුවන් ඒක රජ මාවත වගේ කියල. මොකද, හැම බුදු වරයෙක්ම බුදුබව ලැබුවේ ආනාපාන සති භාවනාවෙන්. කල්පනා කරලා බැලුවොත් තමන්ට තේරෙනවා අනිකුත් අතුරු අසුභ භාවනාවකින් හෝ මෛත්‍රී භාවනාවකින් හෝ සිත තැන්පත් කර ගත්තු අවස්ථාවේ, හරියටම තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබදව නිරායාසයෙන්ම තමන්ගේ සතිය එළඹෙන්නේ. ආනාපාන සති කියලා කියන්නේ ආශ්වාසයත්, ප්රශ්වාසයත් පිළිබදව සිහිය. ඒකට සිහිය සාමාන්‍යයෙන් යෙදෙන්නේ නෑ. හුස්ම ගන්න බවවත් මතක නෑ බොහෝ දෙනාට. මේක මේ සදාකාලිකව ක්‍රියාකරන යන්ත්‍රයක් කියලයි හිතන්නෙ. මේකට යටින් තියෙන පණ කෙන්ද උඩයි මේ ඔක්කොම රඳා පවතින්නේ කියන එකත් සාමාන්‍ය ලෝකයාට අමතකයි. නමුත් අන්න අර විදියට මේ බරපතල ක්ලේශ දෙක රාගයත්, ද්වේෂයත් මට්ටු කරනවා, අසුභ භාවනාවෙනුත්, මෛත්‍රියෙනුත්. එහෙම කර ගත්තට පස්සේ, ඔන්න ආනාපාන සතිය බොහොම පහසුයි. හැබැයි ආනාපාන සතිය මෙතන කියල තියෙන්නේ විතර්ක කපා හරින්න. සමහර යෝගාවචරයින් කියනවා. “බුදු පියාණන් වහන්සේ මෙහෙම කිව්වට මොකද විතර්ක කපා හරින්න කියලා, මෙන්න ආනාපාන භාවනාවට ඉදගත්තහම තමයි මේ විතර්ක ගලාගෙන එන්නේ”. ඒක අහන්ට දෙයක් නෑ. දැන් ලෙඩක් මතු වෙන්නේ ලෙඩේට බෙහෙත් කරන්න ගත්තහමයි. සමහරවිට. ඇතුළේ තියෙන ලෙඩේ. ඉතින් ඒකට මුහුණ දෙන්ට සුදානම් වෙන්ට ඕන. ඒකට ඕන බෙහෙත් තිබෙන්න ඕන. ඔන්න ඔය විදියේ තත්ත්වයක් තියෙන්නේ, ආනාපාන සතියේ. ලෙඩේ නොතිබුනා නොවේ. තිබෙන ලෙඩේ මතුවුනා. සමහර වෙද්දු එහෙමනේ කරන්නේ. ලෙඩේ මතු කරලා ගන්න ඉස්සෙල්ලා දෙනවා හොඳට විරේක කසායක්. මොකක් හරි දීලා ලෙඩේ මතු කරලා තමයි ඊළඟට ඊට ඕන බෙහෙත් රසායනය දෙන්නේ. ඒ වගේ, විරේක කරනවා අර විදියට. නමුත් ඔන්න යටින් එනවා විතර්ක සමූහය. විතර්ක සමුදාය එනවා. කොයිතරම් බලසම්පන්නද කියන එක දැන් මේ ස්වාමීන් වහන්සේගේ මුළු හවසම උත්සාහ කරන්න ඇති අර ලස්සන, රමණීය, අඹ ගහ යට ඉදගෙන - හොඳ හැටි පර්යංකයෙන් ඉදගෙන - බෑ හිත එකඟ කරගන්ට. බැරිම තැන තමයි ගියේ. ඒ තරම් බලගතුයි මේ විතර්ක වේගය. ඒක තමයි මහ පුදුම විදියේ දේ. මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක සමුහයයි. මේක හිත තුළින් එනවා කර්මානුරූපව ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව. මේවා කපා හරින්ට උපකාර වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය තුළින් අරව එක එක මට්ටම්වලින් තමන්ට අවබෝධ වෙනවා. ලෙඩේ ඒ ඒ මට්ටම් මතුවෙන කොට තමයි ඒකට ප්‍රතිකර්ම යෝදන්ට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇතුළතින් එන විතර්ක - මේවා තුළින් අන්තිමට හිත විසිරෙන කොට මේ තැනැත්තාට අවබෝධයක් එනවා.
දැන් අපි අනිත්‍ය සංඥාව ගනිමු. ඔන්න දැන් හතරවෙනිව බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන කියන්නේ මොකද කියන එකත් අපි තේරුම් ගනිමු. එක ටිකක් ගැඹුරු අදහසක්. මේ ටික තේරුනා නම් මේ පින්වතුන්ට - රාගය, ද්වේශය ඒ දෙකට ප්‍රතිකර්ම යොදලා ආනාපාන සතිය තුළින් ලෙඩේ මතු කර ගත්තා. ඒ කියන්නේ විතර්කයි. මට තියන්නේ දැන් විතර්ක එක්ක සටනයි. විතර්ක කියලා කියන්නේ මොකක්ද? අර ඉන්ද්රිය පහෙන් මේ තාක් සංසාරයේත්, මේ ජීවිතේදිත්, අද ඊයේ හෝ වේවා අතීතයේ හෝ වේවා, ගත්තු අරමුණු මේ හිතේ තැන්පත්වෙලා තිබෙනවා. ඒවා මතුවෙලා මේ යෝගියාට කරදර කරනවා. ඉතින් ඒවා ඒ මතුවෙන අවස්ථාවලදී මේ තැනැත්තාට ඒවා එක්ක සටන් කරන්න සිද්ද වෙනවා. ඒකටයි අර “ආතාපියො සංවරති සතීමා” කිව්වේ. අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ මුල් ගාථාවල ‘කුද්ද වීතක්කා සුඛුමා වීතක්කා අනුගතා මනසො උප්පිලාවා’ ආදී වශයෙන් ප්‍රකාශ කළේ, කුඩා විතර්ක, බොහොම පොඩි දේවල් - ලොකු දේවල් නෙවෙයි. සමහර විට අවුරුදු ගණනකට කලින් කවුරු හරි කියාපු වචනයක්. ඉතින් ඒක උඩ සමහර විට ද්වේෂයක්. එහෙම නැත්නම් අවුරුදු ගණනාවකට කලින් යන්තම් කොහේදි හරි දැක්ක රූපයක්. මේක උඩ විතර්ක එනවා. ඒවා ඉවත් කර ගන්ට බැරි තරමට කඩාගෙන එනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයක් යෝගාවචරයෙකුට අත් දකින්න ලැබෙනවා. ඉතින් එබඳු අවස්ථාවල ඔන්න පේනවා, මේ විතර්ක කොයිතරම් බරපතල බාධකයක්ද භාවනාවට කියලා. මේවා කපා හරින්ට ශක්තිමත් වෙන්ට ඕන. ඉතින්, අර කුඩා විතර්ක, සුළු විතර්ක, ඕවා හිත ඇතුළෙන්ම ඇවිල්ලා සිත ඉල්පවනවා. උලුප්පනවා. අන්න මේවා සංවර කරන්නේ කොහොමද - “ආතාපියො” - කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඉඩ නොදී. ඒකට උපකාර වෙන්නේ කර්මස්ථාන අරමුණයි.
දැන් මේ පින්වතුන් දන්නවා - දැන් ගොයම් පැහෙන කාලේ කෙනෙක් හරකෙක් බදින්නේ ඒ අර ගොයම්වලට ඇදෙන එක වළක්වන්නයි. ඒ හරකත් පුළුවන් තරම් උත්සාහ කරනවා ගොයමට ඇදෙන්න. බැහැ, ආයෙත් එනවා. පස්සේ බැරීම තැන කණුව ළහ ඇවිල්ලා ලගිනවා. අන්න ඒවගේ සිත කමටහනක බැඳීමේ වටිනාකම ඒකයි. යම්කිසි කමටහනකට සාපේක්ෂකවයි - කමටහනක් අල්ල ගත්තහම තමයි - එයින් පිට යනවා කියන අවබෝධයක් ලබාගන්ට පුළුවන් වෙන්නේ. ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්ට පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න. ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්ට ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සේ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව - සතිය එතන උපකාර වෙනවා. සති සම්පජඤ්ඤය කියන වචන දෙක, සිහියයි, නුවණයි, ඒ දෙක යොදලා - ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන් පුළුවන් ඉක්මනින්, ආයෙත් අර කණුව ළහට ගේනවා. කමටහනට ගේනවා, හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි.
ඒක නිසා තමයි මේ පින්වතුන් දන්නවා, දැන් ඔය සිතේ ස්වභාවය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට යම්කිසි දෙයක් ස්පර්ශ වෙනවා. තැවරෙනවා. ඒක අනුව වේදනාවක් එනවා. ඒ වේදනාව කමන්ට සැප වේදනාවක් වෙන්ට පුළුවන් දුක් වේදනාවක් වෙන්ට පුළුවන්. මධ්‍යස්ථ වේදනාව නම් නොදැනෙන තරමයි. ඒ ගැන සාමාන්‍ය උපේක්ෂාවයි තියෙන්නේ. අඥාන උපේක්ෂාවයි, බොහෝ විට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක්. ඔය දෙක අනුව ඊළඟට යම්කිසි සංඥාවක් ගන්නවා. හොඳ හෝ නරක හෝ ඒ විදියට යම්කිසි සංඥාවක් ගන්නවා. ඒ සංඥාව උඩයි ඔන්න විතර්ක ගොඩ නැගෙන්නේ. ඒ විතර්කවලට යටවුනාට පස්සේ සිද්ද වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්ට පුළුවන් ප්රපංචය කියල. ප්රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යාම නිසා, අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහේදවත් නොදන්නා තරමට. ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙන් දක්වලා තියෙනවා. “යං වේදෙති තං සඤ්ජානාති” යමක් විඳීද එය හඳුනාගනී. “යං සඤ්ජානාති තං විතක්කෙති” හඳුනා ගත්තා දේ පිළිබදවයි විතර්ක සිතිවිලි පවත්වෙන්නේ. “යං විතක්කෙති තං පපඤ්චෙති” යමක් පිළිබදව විතර්ක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබදව ප්රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මුලක් හොයාගන්ට බැරි විදියේ මහා වැල් වටාරම් සිතිවිලි රාශියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලි වලටම යටවෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. අන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්ෂිප්ත වෙනවා.
මේ ඔක්කොම සිද්ද වෙන්නේ මක් නිසාද? අන්න අර “අයෝනිසෝමනසිකාරය” නිසා. අන්න එතෙන්දි අපිට අර බුදු පියාණන් වහන්සේ වදල “යෝනිසෝමනසිකාරය” කියන වචනයේ තේරුම වැදගත් වෙනවා. දැන් මෙනෙහි කිරීම කියන එක, මනසිකාරය කියන එක, සාමාන්‍ය ලෝකයා කවුරුත් දන්නවා. මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ සිත්වල. මොකක් හරි මෙනෙහි කරනවා. මනසට, සිතට නගා ගන්නවා. මේ මෙනෙහි කිරීම සාමාන්‍ය ලෝකයා කරන්නේ “අයෝනිසෝ”. ඒක සමහර පරණ පොත්වල තියෙන්නේ “නුණුවනින්” කියලා. එහෙම නැත්තම් අඥාන විදියට. අපිට මේ කාලේ හැටියට තේරුම් කරන්න පුළුවත් “අනිසි මෙනෙහි කිරීම”, අඥාත මෙනෙහි කිරීම. ඒක වැරදි මෙනෙහි කිරීම, කෙලෙස්වලට ඉඩදෙන විදියට. යෝනිසෝමනසිකාර කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම, තවත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් “යෝනිසෝ” කියලා කියන්නේ විතර්කයක්, සිතිවිල්ලක්, ඇතිවෙන මූල තැනටම හිත යොදලා - ලෙඩක්හට ගන්න හේතුවටම හිත යොමු කරලා - මෙනෙහි කිරීමයි. ඒක තමයි භාවනායෝගියා කළ යුතු මෙනෙහි කිරීම. යෝනිසෝමනසිකාරය. දැන් මෙතනත් ඒකයි. අර ඇතට යන්න නොදී - ස්පර්ශය ආවා ඊට ඇතට යන්න නොදී - වේදනාවට ඉඩ දුන්න හැටියේ ඊළඟට ඒක අනුව සංඥාවල් එනවා. සංඥාවල් ආව හැටිය ඒ සංඥා පුවරු අනුව ගිහිල්ලා විතර්ක - සිතිවිලි - හිතේ ගොඩනගා ගන්නවා. ඒ විතර්කවලට යටවීම තමයි ප්රපංචය කියලා කියන්නේ.
ඔන්න ඔය විදියේ තත්ත්වයක් මේ ලෝකයේ තියෙනවා. මේක තුළයි මුළුමහත් සංසාරය තිබෙන්නේ. මේ සිතිවිලි තුළයි, සිතෙන්මයි මේ සංසාරය මවන්නේ, සිතෙන්මයි, සංසාරයෙන් මිදෙන්නේ. එතකොට මේක ආශ්රයෙන් අපිට හිතාගන්ට පුළුවන් බුදු පියාණන් වහන්සේ දුන්න මේ අනිත්‍ය සංඥාව. ඇත්ත වශයෙන් අනිත්‍ය සංඥාව කියන එක සාමාන්‍ය ලෝකයේ හැම දෙනාටම හිතාගන්ට පුළුවන්. මේ අනිත්‍ය සංඥාව කියන එක එදිනෙදා ජීවිතයේදී නම් අපි කවුරුත් දකිනවා. ඔන්න මොකක් හරි තිබුණ එක දිරාපත් උනා. ඒක අර රළු පැත්ත, ඕලාරික පැත්ත - අනිත්‍ය සංඥාවේ ගැඹුරුම පැත්තෙන් අනිත්‍ය සංඥාව මතු වන්නේ සිතිවිලිවල අනිත්‍ය ස්වභාවය දැකීමෙනුයි. මේ සිතිවිලි - දැන් අපි “මගේ සිතිවිලි” කියලා ගන්න එක පවා මේ විදියට මෙහෙම විසිරෙනවා නේද? එහෙම නැත්නම් අතීත කෙලෙස්වල බලපෑම නිසා මේ සිත විසිරෙනවා නේද කියන ඒ විසිරෙන ස්වභාවය ගැනත් යම්කිසි අවබෝධයක් ලබනවා - අර ශික්ෂණය තුළින්ම. අර ශික්ෂණය කරනවා. ශික්ෂණය කරන්නේ සමාධියෙන් සිත තැන්පත් කර ගන්ට. නමුත් තැන්පත් සිතට වැටහෙන්නේ - යථාභූත වශයෙන් වැටහෙන්නේ - මේ සිතේ ස්වභාවයයි. මේ එක හිතක් නෙවෙයි “මමයි” කියලා කියන්ට දෙයක් නෑ මෙතන. එක එක සිතිවිලි එනව එක එක මොහොතකට. මේ මොහොතකට ඇතිවෙන සිතිවිලි. මේක අපි දැඩිව උපාදාන වශයෙන් අල්ලා ගැනීම නිසයි මේ ඔක්කොම සංසාරයක් මැවෙන්නේ, පැවැත්මක් ඇතිවෙන්නේ, කියන අවබෝධය එනවා. ඒක තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කලේ. අනිත්‍ය සංඥාව ඇති තැනැත්තාට අනාත්ම සංඥාව පිහිටනවය. අනාත්ම සංඥාව ඇත්තේ මේ “අස්මිමාන” කියලා කියන - “වේමි” කියලා කියන - සියුම් මානය ඉවත් කරලා දිට්ඨධම්මයෙහිම උතුම් අමා මහ නිවනින් සැනසෙනවය කියලා වදාළේ ඒකයි. මොකද, අර හිතේ වික්ෂිප්ත වන, විසිරෙන, ස්වභාවය නිසා මෙතන “මමෙයි” කියලා ගන්න, මෙතන ආත්මයක් කියලා දෙයක් නෑ කියන අවබෝධය එනවා. මේ සිතිවිලි එනවා. එන එන එක ඒ ඒ තැන්වල ලත් තැන ලොප් කරනවා වගේ ලොප් කරන අතරෙම තමන්ට අවබෝධයකුත් එනවා මෙතන මමෙයි කියලා අල්ල ගන්න දෙයක් නෑ. “මගෙයි” කියලා ගන්න දෙයක් නෑ. දැන් “මමෙයි” කියලා අල්ලගත්ත සිතිවිල්ල තව මොහොතකින් ඉවර වෙනවා. නැතිවෙලා යනවා. ඒ ටික අවබෝධ වෙන්නේ අර සති සම්පජඤ්ඤය කියලා කියන සිහිය හා දැනුවත් බව - සිහිනුවණ - කියන එක හොඳට යෙදුණු අවස්ථාවෙදීයි.
ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම සමාධියක්. මොකද, බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා, සමාධි භාවනා 4ක් දක්වන තැන - අපි අදාළ දේ පමණක් කියමු - එක සමාධි භාවනාවක් මොකද්ද? “මහණෙනි සති සම්පජඤ්ඤය දියුණු කර ගැනීම සදහා උපකාර වන සමාධි භාවනාවකුත් තියෙනවා” මොකද්ද ඒ සමාධි භාවනාව? ඒක දක්වන්නේ, ඔන්න යම්කිසි භික්ෂුවකට දැනුවත්වම වේදනාවක් හට ගන්නවා. දැනුවත්වම ඒවා පවතිනවා. දැනුවත්වම ඒවා නැතිවී යනවා. ඒ වගේම දැනුවත්වම සංඥාවල් ඇතිවෙනවා. දැනුවත්වම ඒවා පවතිනවා. දැනුවත්වම ඒවා නැතිවී යනවා. ඒ වගේම දැනුවත්වම විතර්ක (සිතිවිලි) පැන නගිනවා. දැනුවත්වම පවතිනවා. දැනුවත්වම නැතිවෙලා යනවා. මේක තුල තියෙන ධර්මතාව මොකද්ද? අර වචන තුනටයි එන්නේ ඇතිවීම, පැවතීම, නැතිවීම, ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. අපි කෙටියෙන් ගත්තොත් ඇතිවීමයි, නැතිවීමයි, දෙක පමණයි තිබෙන්නේ. නමුත් අර පැවතීම කියල කියන්නේ අන්න අර උපාදනය - අල්ලා ගැනීම. ඒ අවස්ථාව තුළ , ඒ තුළ ඒක “පවතිනවා”. ඒක තුළ “කෙනෙක්” පවතිනවා. ඉතින් අන්න ඔව්වරයි ලෝකයේ තිබෙන්නේ. ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මේක හොඳට ගැඹුරින්ම ප්රත්යක්ෂ වෙන්නේ - දැන් දුව්‍ය ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් අතර වෙනස බොහෝ දෙනාට අවබෝධ කරගන්ට අමාරුයි. මේවා දීරාපත් වීම සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නෑ. මේක අහක දාන දවසට, කුණුගොඩකට දාන දවසට තමයි. මේක දැන් වැඩක් නෑ කියලා දැන් මේක ඉවරයි වැඩක් ගන්න බෑ කියල ඉවත් කරන්නේ. නමුත් ඒ විදියේ ද්‍රව්‍ය ලෝකයේ ඒ ඇතිවීම, නැතිවීම කියන එක එහෙම නැත්තම් අනිත්‍යතාව ඉතාමත්ම ඕලාරික රළු මට්ටමක්. සියුම් වශයෙන්ම මේ අනිත්‍යතාව වැටහෙන්නේ අන්න අර විදියට මේ සිතිවිලි දැකීමෙනුයි. මේව එනවා පවතිනවා, නැතිවෙලා යනවා කියලා. ආනාපානයෙන් තැන්පත් වුනු තමන්ගේ සිතට වැටහෙන්ට පටන් ගන්නවා.
ඒ කමටහනේදී උත්සාහ කරන්නේ ආනාපානයෙන් ගැටෙන තැන සතිය රදවා ගන්නයි. නමුත් ඒ අතරේ අර සිතිවිලි එනවා. ඒ අතීතයේ ගත්තු සිතිවිලි හෝ යම් යම් දේවල් එනවා. ඒවා මට්ටු කරන්නත් සිද්ද වෙනවා. ඔය තත්ත්වයයි මේ සිතේ තියෙන්නේ කියන අවබෝධය තුළින් තමයි අන්තිමට මේ විඥ්ඥාණයෙත් ආත්මයක් කියලා ගන්න දෙයක් නෑ කියලා වැටහෙන්නේ. රූපයේ ආත්මයක් නැතිබව මේවා දිරාපත් වෙන කොට අපට සාමාන්‍යයෙන් පහසුවෙන් හිතා ගන්ට පුළුවන්. වේදනාවත් - එක වේදනාවක් එනවා තව වේදනාවක් එනවා - ඔය විදියට ඒකත් තව ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංඥාවත් තවත් ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංස්කාර කියල කියන චේතනාවල් පිළිබද අනිත්‍යතාවත්, ඒකත් තරමක් හරි අමාරුවෙන්. නමුත් විඤ්ඤාණය කියලා කියන මහා මායාව, ලොකුම මායාවයි මේ ලෝකයේ සත්ත්වයාගේ. බුදු පියාණන් වහන්සේත් මායාවකට උපමා කළේ මේ විඤ්ඤාණයයි. අන්න ඒක තමන්ම අත් දැකිය යුතු දෙයක්. ඒකට මාර්ගයයි මේ බුදු පියාණන් වහන්සේ කමටහන් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමෙන් මෙතන දක්වලා කියෙන්නේ.
එතකොට අන්න ඒ ආශ්රයෙන් මේ පින්වතුන්ටත් හිතාගන්ට පුළුවන් මේ යෝගාවචර ජීවිතය බලාපොරොත්තු වෙන කෙනෙක්, මේකට බහින්න බලාපොරොත්තු වෙන කෙනෙක්, මේක ලේසි වැඩක් කියලා හිතන්න නරකයි. මේක ලේසි කරලා හිතාගත්තොත් ඉක්මනින්ම මේ ගැන කල කිරෙනවා. මේක අමාරු වැඩක් කියලා දැනගෙන, ඒකට හිත සකස් කරගෙන, ලොකු වීර්යයක් වඩාගෙන, මේ වැඩේට බහින්ට ඕන. එහෙම නැත්නම් කරන්නේ මොකද්ද? එක්කෝ ගුරුවරයාට දොස් කියනවා. භාවනාවට දොස් කියනවා. දැන් මේ වාහන අනතුරු සිද්දවුනු පමණින් කෙනෙක් වාහන එළවීම නතර කරනවද? නෑ. ඒ වාහන අනතුරට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර විට ඒ රියැදුරාගේ නොදැනුවත්කම වෙන්නත් පුළුවන්. අන්න ඒ විදියට භාවනාවෙන් ඇතැම් කෙනෙක් මානසික පීඩනවලට, නොයෙකුත් පීඩා වලට පත්වෙනවා කියලා සමහර අය මේ කාලේ භාවනාව සිත වික්ෂිප්ත කර ගැනීමට ලේසි මාර්ගයක් හැටියට හිතනවා. ඒක වැරදි අදහසක්. අන්න අර මේඝිය හාමුදුරුවෝ වගේ ඉක්මන් වෙච්ච කට්ටියයි එහෙම කරන්නෙත්, හිතන්නෙත්. ඒ විදියේ තත්ත්වයකට පත්වෙන්නෙත්.
නුවණැති පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දුන් අර උපදෙස් සිහිපත් කරගන්නවා. අපි වැඩීකට බහින්ට ඕන හිත සකස් කරගෙනයි. ඒකට උපකාර වෙන්නේ, ප්‍රධාන වශයෙන්ම, ගුරු ආශ්‍රය. බුදු පියාණන් වහන්සේ, අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට, ලෝකයේ අසහාය කළ්‍යාණ මිත්‍රයා. එතකොට බුදු පියාණන් වහන්සේ නැති වුනාට පස්සේ, එහෙම නැත්නම් උන් වහන්සේ වැඩ සිටින කාලයේ පවා, සාරිපුත්ත ස්වාමීන් වහන්සේලා මුලගත් මහ රහතන් වහන්සේලා හරියට අර සඟ සිරිසට මව්පියන් වගේ ඉදලා රහත් තත්ත්වය දක්වා ගෙන යාමට උන් වහන්සේලා දෙනමක් උපකාර වුනා, බුදු පියාණන් වහන්සේ වගේ. ඊළඟට අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා. ඊළඟටයි ඒ අනුව සිටි අනිකුත් සංඝයා වහන්සේලා තම තමන්ගේ ශක්තියේ හැටියට. ඊළඟට උන් වහන්සේලා නැතිවුනාට පස්සේ මේ බුද්ධ ශාසනය පවතින තාක් කල් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් මේ භාවනා මාර්ගයේ ගමන් කරලා යම්කිසි දියුණුවක් ලබාගෙන තියෙනවා නම්, ඒවා පිළිබද අවබෝධයක්ට් තිබෙනවා නම්, අන්න ඒ තැනැත්තයි කළ්‍යාණ මිත්‍රයා, ගුරුවරයා. ඒ අයගේ බසට කීකරුව අවස්ථානුකූලව පියවරක් ගන්ට සුදානම් වෙන්ට ඕන. ඒකට ඕන නිහතමානීත්වය තියෙන්ට ඕන. ඊළඟ අනිකුත් කාරණා තමයි අර ශීලය, ධර්ම ශ්‍රවණය ආදියෙන් සිත ශක්තිමත් කර ගැනීම, බලවත් ඡන්දයක් ඇතිකර ගැනීම, ඕනෑකමක් ඇතිකර ගැනීම, ඊළඟට වීර්ය දැරීම, ඥානවන්තව, නුවණැතිව සිත යෙදීම, ප්‍රඥාව. ඔන්න ඔය විදියේ කාරණා උපකාර වෙනවා. ඒ වගේම තමයි අර කියාපු භාවනා මාර්ගයත්. ඒවා කවලම් කරගන්නේ නැතිව, අවුල් කර ගන්නේ නැතිව, ඒ භාවනා මාර්ගයට පිවිසෙන්ට ඕන. පළමුවෙන් කළ යුතු දේ පසුව කරන්න නරකයි. පසුව කළ යුතු දේ පළමුවෙන් කරන්න නරකයි. ඇතැම් කෙනෙක් ආනාපාන සතිය ඉතාමත්ම වටිනා භාවනාවක් කියලා ඒකට බහිනවා. නමුත් ඒකට සුදානම් නෑ. ඉතිං ඊළඟට දොස් කියනවා - “බුදු පියාණන් වහන්සේ මේ විතර්ක කපා හැරීමට ආනාපාන සති භාවතාව කරන්න කිව්වට මොකද මට නම් මේක කරන්න යනකොට විතර්කමයි එන්නේ” කියලා සමහරු බුද්ධ දේශනාවටත් දොස් කියනවා. මොකද මේකට හේතුව? අන්න අර කලින් කිව්ව රළු මට්ටම. දැන් මේ පින්වතුන් දන්නවා, වඩුවෙක් වුනත් ඒ යතු කැටය යොදන හැටි. හිතලා බලන්න. ඉස්සෙල්ලම යොදන්නේ ඒ යතුකැටේ අර රළු කොටස කපා හැරීමට. ඒ ටික කරලා, යතුකැටේට තට්ටු කරලා හරි වෙන යතු කැටයක් අරගෙන හරි, ඊළඟ ටික ගානවා. ඊළඟට ඊළඟ යතුකැටේ ගන්නවා. ඔය විදියේ දෙයක් මේ සිත පිළිබදවත් තියෙන්නේ. හිතේ රළු මට්ටම් තියෙනවා, සියුම් මට්ටම් තියෙනවා, ඉතින් රළු මට්ටම් නැති කරන්නේ රළු දෙයකින්මයි. ඒක උපකාර වෙනවා. ඇතැම් කෙනෙක් හය වෙනවා - ගිහියන්ට අසුභ භාවනාව හොඳ නෑ කියලා මතයකුත් කියනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන බලාපොරොත්තු වෙනවානම් මේක උපකාර වෙනවා. මේ සමාජය ගැන හිතලා බැලුවත් මේ රාගාදී කෙලෙස්, ගිහියන් පිළිබදව හිතලා බැලුවත් කොයිතරම් මේවා පිළිබද නොදනුම්කම් නිසාද මේතරම් අපරාධ ඇති වෙන්නේ. ඒවා පිළිබද යම්කිසි සංවරයක් සංයමයක් තියෙනවා නම් සමාජය පවා මීට වඩා සන්සුන් ස්වභාවයකට පත්වෙනවා. ගෙදරක පවා, නිවෙසක පවා, සංයමයක් සංවරයක් තිබෙනවා. ඒ වගේ තමයි අනිත් එකත්, ව්‍යාපාදය. ඉතින් ඔය දෙක - ඇලීම්, ගැටීම් දෙක තුළයි මේ ලෝකයා බොහෝ විට ජීවත්වෙන්නේ. නමුත් ඒවා මට්ටු කළාට පස්සේ තව ඉදිරියට යන්ට තියෙනවා. ඔන්න ඔතන ඉඳලා තියෙන්නේ= සියුම් යතු කැට උපමාව. ඒකයි එතන ගන්න තියෙන්නේ. “කුද්ද විතක්කා සුඛුමා විතක්කා” කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හොඳ අඹ වනයක් දැක්ක පමණින්, මම මෙතනට ගිහිල්ලා භාවනා කරහම එක පාරටම නිවන් දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අච්චර මහන්සි වෙලා කරපු දේ මට පුළුවන් එක හවස වරුවකම කරගන්න කියලා හිතාගනයි මේඝිය හාමුදුරුවෝ ගියේ. නමුත් ඒ ඔක්කොමත් හරි. බොහොම රමණීයයි අඹ වනය. හොඳ සෙවන, හොඳ ආසනය. ඔක්කොම හරි නමුත් හිත හික්මවා ගන්ට බැහැ. මොකද, යටින් එනවා, අර විතර්ක. කුණු කන්දල් ටික ඔක්කොම, හරියට අර වැස්සෙන් පස්සේ දොළ පාරක් ගලාගෙන යනකොට ඒ තියෙන කුණු කන්දල් ඔක්කොම ගලාගෙන යන්නා වගේ. එබදු අවස්ථාවකට පවා මුහුණ දෙන්ට සිද්ද වෙනව නිවන් සදහා උත්සාහ කරන යෝගාවචරයාට.
එබදු අවස්ථාවල කලකිරෙන්ට නරකයි. ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. අර කුණු කන්දල් කොහෙන් හරි ගලාගෙන යන්ට ඕන. දැන් මේ පින්වතුන් දන්නවා විරේක කසායක් ගත්තට පස්සේ - ඒක ගැන ඉතින් මේ පින්වතුන්ට විස්තර කියන්ට ඕන නෑ. ඉතිං විරේක කසායක් ගත්තට පස්සේ ඔන්න හිතනෙවා අපොයි මෙහෙම තේද තත්ත්වය? මේ මගේ කියලා හිතගෙන හිටිය ශරීරයේ තත්ත්වය මේක නේද? මේ ආහාරවල තත්ත්වය මේක නේද කියලා ඔන්න හොදට එබදු අවස්ථාවල ප්රත්යක්ෂ වෙනවා. අන්න ඒ වගේ තමයි ආතාපානසතියට ඉදගත්තට පස්සේ අර මුල් කාරණා ටික ඉෂ්ට කරලා, ඔන්න ඒ අවස්ථාවේ මේ සිත ඇතුලෙන් එන කුණු කන්දල් ධාරාව. නමුත් ඒවා තුළින් ශික්ෂණයකුත් කෙරෙනවා. ශික්ෂණය තුළින් අවබෝධයකුත් එනවා. මේක හික්මවන්න බැරි දෙයක්. නමුත් හික්මවන්නේ මොකටද? මේ අවබෝධය තියුණු කර ගන්න. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතාම ගැඹුරු කාරණයක් මෙතන තියෙන්නේ. මේක අන්ත වශයෙන් ගත්තොත් දියුණුවක් නෑ. බුදු පියාණන් වහන්සේ වෙන කිසිම ශාස්තෘවරයෙකුට බැරුව තිබුණු මේ සංසාරයෙන් මීදීම පිළිබද ගැටළුවට, ප්‍රශ්නයට, විසදුමක් ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදව තුළින්. හිතේ තැන්පත් කර ගැනීමක් අවශ්‍යයි මූලිකව. සිත එක්තැන් කර ගැනීමත් අවශ්‍යයි. “එක්තැන් කර ගැනීම” කිව්වට මේක “එකක්” නොවේ. එක්තැන් කර ගත්තු අවස්ථාවේ තේරෙනවා මේකේ විසිරෙන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා විසිරෙනවා. අතීතයේ එකතු කරගත්තු මේ කර්ම, චරිත, වාසනා ගුණ ආදී වශයෙන් දක්වන නානාප්‍රකාර චරිතානුකූලව එන පුරුදු ආදිය නිසා නොයෙකුත් විදියේ සිතිවිලි විතර්ක පැන නගිනවා. ඒවායින් අධෛර්ය වෙන්නේ නෑ. නමුත් ඒක තුළින් අන්තිමට කරන්නේ මොකද්ද? මෙතන අල්ල ගන්න දෙයක් නෑ. අල්ල ගත්තු තැන මාරයා. අල්ල ගත්තු තැන තමයි “මම” ඉන්නේ. අල්ල ගත්තු තැන තමයි මේ ඔක්කොම කරදර කියලා අන්න ඊළඟට දකිනවා. යථාභූත වශයෙන් ඇත්ත ඇති සැටි දකිනවා. මේ සියල්ල අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ අනිත්‍ය දේ අල්ලගෙන සිටින නිසා දුකට පත්වෙනවා. ඒ වගේම එතන “මමය, මගේය” කියලා මගේ වසයේ පවත්වන්ට බෑ, කිසිම දෙයක්” කියන අවබෝධය එනවා. ඔන්න ඒ අවබෝධය ආපු අවස්ථාවේ තමයි, ගැඹුරින්ම ආපු අවස්ථාවේ තමයි, යම්කිසි කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට “අස්මි මාන” කියල කියන අන්තිම කුෂ්ඨය ගලවන්නේ. “වෙමි” - කියලා කියන කුෂ්ඨය තුළින් තමයි මේ මුළුමහත් ලෝකයම මනින්නේ. දැන් “මම” කියලා කියන එක සාමාන්‍යයෙන් ඕලාරික, රළු වශයෙන් ගත්තු හැඟීමක්. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ “මමය මාගේය” කියන එක නැති කළ පමණින්ම වැඩේ ඉවර වෙන්නෙ නෑ. ඉතාමත්ම සියුම් මට්ටම තමයි “වෙමි” කියන එක. “මම වෙමිත්” නෙවෙයි. - “වෙමි” - ඒක ඉතාම සියුම් මට්ටමකින් තිබෙනවා හිතේ තැන්පත් වෙලා. ඒක හරියට දකින්න පුළුවන් වෙන්නේ අන්න අර විදියේ සිතේ විසිරෙන ස්වභාවය හරියාකාර ප්රත්යක්ෂ කරගෙන, අර අල්ලා ගැනීම අත හැරිය තැනයි. අල්ලාගත්තු තැන - දැන් ස්පර්ශ වෙන කොට ඒක අල්ලා ගැනීමෙන් තමයි වේදනාව වෙන්නේ. එතන අල්ල ගත්තහම සංඥාවට හැරෙනවා. සංඥාව විතර්කයට හැරෙනවා. විතර්කයට හැරිලා විතර්කය අල්ල ගත්තු තැන ප්රපංචය, එතනින් එහාට ඉතින් අන්තිමට පිස්සන් කොටුවක් වගේ තත්ත්වයකට හිත පත් වෙනවා. ඒක වළක්වන්ට අයෝනිසෝමනසිකාර කියලා කියන අර වැරදි ක්‍රමය අතහරින්න ඕන. එහා කොනේ ඉදලා නෙවෙයි පටන් ගන්නට තියෙන්නේ. මේ සටන පටන් ගන්ට කියෙන්නේ අර බුදු පියාණන් වහන්සේ ධම්ම පදයේ මුල් ගාථාවෙන් ප්‍රකාශ කළා වගේ :-
ඔය විදියට මේ හැම එකක්ම හිතෙන්ම පැන නඟිනවා කියන අවබෝධය හරියාකරව මතුවෙන්නේ අන්න අර කියාපු භාවනාවේ ගැඹුරු අවස්ථාවේදීයි.
අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්ට ඕන. අද මේ වටිනා පෝය දවසේ අපි බුදු පියාණන් වහන්සේගේ චරිතය ගැන පමණක් හිතලා ශ්‍රද්ධාව ඇති කර ගන්න නරකයි. බුදු පියාණන් වහන්සේ හරියට අඳුර ගන්නේ ඇත්ත වශයෙන්ම නිර්වාණය ප්රත්යක්ෂ කරගත්තු කෙනායි. එතෙක් අපි දකින්නේ රූප ටික විතරයි. එහෙම නැත්තම් සිතිවිලි වලින් මවාගත්කු බුදු කෙනෙක්. එම නිසා බුදු පියාණන් වහන්සේ දකින්න බලාපොරොත්තු වෙනවා නම්, උන් වහන්සේ අඳුනගන්න බලාපොරොත්තු වෙනවා නම්, අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ කියාපු මේ සත්‍යය අවබෝධ කරගන්ට ඕන. එදාටයි බුදු පියාණන් වහන්සේ හරියට දකින්න වෙන්නේ. එදාටයි බුදු පියාණන් වහන්සේ පිළිබද ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා මේ පින්වතුන්ට අද මේ වටිනා දවසේ මේ ධර්ම ශ්‍රවණය තුළිනුත් අර කලින් කියපු ආකාරයේ දස කථා වස්තුවලට අදල යම් යම් දේවල් කියවෙන්නට ඇති. මේ ජීවිතේදිම තවමත් පුළුවන් මේ ශාසනයෙන් වැඩගන්න. ඇතැම් කෙනෙක් මේක යල් පැනපු දෙයක් හැටියට හිතනවා. නමුත් එකම ගිනි තමයි බුද්ධ කාලෙත්, දැන් කාලෙත් දැල්වෙන්නේ - රාග, ද්වේෂ, මෝහ ගිනි. එතකොට ගිනි නිවීමයි නිවන කියල කියන්නේ. වෙන දෙයක් නෙවෙයි, වෙන අමුතු ලෝකයක් නෙවෙයි, අමුතු දිව්‍ය ලෝකයක් වගේ තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඇතැම් කෙනෙක් එහෙමත් හිතනවා. නිවීමයි. එතකොට මෙතන සංසාරේ තියෙන්නේ දැවීමයි. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිවීමයි. සංසාරයේ තියෙන්නේ පැවැත්මයි. මේ පැවැත්ම දුකක් බව තේරුම් අරගෙන මේකේ නැවැත්ම ඉදිරිපත් කර ගැනීමයි, ඒකයි අපි අර කිව්ව සංසාර වට වළල්ලෙන් ඉවතට පැනීම. සංසාර වටවළල්ලේ කරකැවීමයි සංසරණය. ඒයින් ඉවතට පැනීමයි නිස්සරණය. මාරයාගේ රාජධානියෙන් මිදීමයි, මේ නිවන කියලා කියන්නේ අනිත් පැත්තෙන් - කෙලෙස් වශයෙන් සැලකුවොත්!
අත්ත ඒ කියන තත්ත්වය තමන්ගේ ජීවිතේ පරමාර්ථය හැටියට අරගෙන මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් දුර්ලභ බුද්ධෝත්පාද කාලේ, මේ ශාසනයේ අවසාන භාගයේ - සමහර විට තව පරම්පරා කීපයක් යනකොට ඇත්ත වශයෙන් මේ ධර්මයෙන් වැඩ ගන්න බැරිවෙන තත්ත්වයකටයි එන්නේ. මක්නිසාද, ගුරු ආශ්‍රය නැති වෙනවා. මේ නිවන් මග ගමනට උපදෙස් දෙන්ට පුළුවන්, ඒවායේ කටයුතුවල යෙදෙන අය, සොයා ගන්න බැරි වෙනවා. කළුනික තව පහසුවෙන් සොයා ගන්ට පුළුවන් වෙනවා. ඒක බැරි වෙනවා - අන්න එක නිසා මේ පින්වතුන් අප්‍රමාදව බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාද පදය සිහිකරගෙන මේ කියාපු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේතෙක් මේ පින්වතුන් ධර්ම දේශනාවට සවන් දීමෙන් තම තමන්ගේ චිත්ත සන්තානයේ මේ අවස්ථාවේ පවා වැදගත් කුසල් ධර්ම කීපයක් මතු වූනා කියලා හිතාගන්න ඕන. විශේෂයෙන්ම ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්ම සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අතර දක්වලා තිබෙනවා. ඉන්දිය ධර්ම, බල ධර්ම, හැටියට කාර්ය දෙකක් ඉෂ්ට කරන එකම ධර්ම හැටියට - ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් වගේම බලයක්, හපන්කමක් වගේම බලසම්පන්නකාරකමක් පෙන්නුම් කරන්න පුළුවන් ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම වීර්යය, ශ්‍රද්ධාව අනුව ගිය වීර්යය. ඊළඟට වීර්යය නිසා ඒ කෙලෙස් තවලා කුසල් ධර්ම ළංකර ගන්න යොදන වීර්යය තුළින් සතියක් මතුවෙනවා, සතිය, සිහිය. සිහිය බොහෝ වේලාවක් පවත්වා ගන්ට පුළුවන් තත්ත්වයම තමයි සමාධිය වෙන්නේ. අන්තිමට සිහිය උතුරලා ගිහිල්ලා සමාධියට හැරෙනවා. සමාධිමත් හිතට යථාභූත වශයෙන් ඇත්ත ඇති හැටියට පෙනීම - ප්‍රඥාව - ඇති වෙනවා. ඔන්න ඔය සද්ධා වීරිය සති, සමාධි, පඤ්ඤා ඇත්ත වශයෙන් මේ ඉන්ද්රිය ධර්ම බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ අන්න නිවන් ලබන භාවනාවට හරියාකාරව බැස්ස අවස්ථාවෙදියි. නමුත් සුළු මට්ටමකින් හෝ එවා මතුකර ගැනීමට - මේ පින්වතුන්ගේ භාවනාවේ යෙදීමේ ශක්තිය අනුව - මේ ධර්ම දේශනාව උපකාර වෙන්ට ඇති කියලා හිතනවා. ඒ විදියේ දේශනාවකට සවන් දීමෙන් ශ්‍රද්ධා ,විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ධර්මයන් ඇති කර ගැනීමේ බලයෙන්ම මේ ජීවිතයේදීම හැකිතාක් උත්සාහ කරලා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් මේ මුළ මහත් සංසාර දුක්බයෙන් අත් මිදිලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්ට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම මේ අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරය ශාසනාරක්ෂක දෙවි දේවතාවන් ඇතුළු යම්තාක් අවිචියේ සිට අකනිටා දක්වාවූ කුසල් අනුමෝදන්වීමට බලාපොරොත්තු වන අය සිටිතොත් - තම තමන්ගේ ඥාතීනුත් ඇතුළු - ඒ හැම දෙනෙක්ම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී කලයාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන හැකිතාක් ඉක්මණින් සියලු සංසාර දුකින් අත්මිදලා උතුම් අමාමහ නිවනින් සැනසෙත්වා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන, ඊළඟට මේ විදියට මේ ගාථා කියල පින් පමුණුවන්න.